අද දින 09/08/21 කොග්ගල තලා තුඩුව ආයතනයට ත්රිපිටකයක් එය තැබීමට මේසයක් සහ ආරාන්‍ය වාසී හාමුදුරුවන්ට සිවුරු කට්ටල හතරක් පූජා කරන ලදී . මේ සදාහා මුදලින් ශ්‍රමයෙන් සහභාගි වූ මෙම පින් කන්ඩායමේ සිටින සහ නැති සැමත් මාගේ පවුලේ සැමටත් මේ පින් නිර්වානයට පාරමිතාවක් වේවා. මේ පවුල් නම්න් මියගිය සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා තෙරුවන් සරණයි…! පින්වත් නිසල් මෙන්ඩිස් පින්වත් මහත්තයා ඇතුළු පින්වත් පිරිසට මේ උතුම් පිං කුසල් උතුම් චතුරාරීය සත්‍ය ධර්මවබෝය පිණිස හේතු වෙත්වා…! “”ධර්ම දානයේ ආනිශංස ධර්ම දේශානා දහම් විග්‍රහය…! ධර්ම දානයේ ආනිශංස ▬▬▬▬▬▬▬▬▬ ධර්ම දානයෙහි අධර්මයෙන් උපදවාගත් දෙයක් නොවන හෙයින් දාන වස්තුව ගැන සැකයක් නොවන්නේය. ලොව්තුරා බුදුවරයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කළ ධර්මයක් හෙයින් ධර්මය අති පාරිශුද්ධ වන්නේය. ධර්ම දානය දුශ්ශීලයන්ට දුන්නේ ද විපාකය මහත්ඵල වන්නේය. දාන වස්තුවෙහි ලෝභ ඉපදීමෙන් වන පුණ්‍ය හානියකුදු නැත්තේය. ධර්ම දානය දීමෙන් දිළිඳු නොවන හෙයින් පසුතැවිලි වීමකුදු නැත්තේය. දිවි හිමි කොට ධර්ම දානය කළේ ද අඩු වීමකුදු නැත්තේය. ධර්ම දානය සියල්ලවුන්ට සාධාරණ දානයක් නොවේ. ලොව්තුරා බුදු කෙනකුන් වහන්සේ විසින්ම ප්‍රථමයෙන් දුන් හෙයින් අසාධාරණ දානයකි. දුන් අයට මෙන්ම ලැබූ අයටද පින් පිරෙන දානයකි. ධර්ම දානය නිවන් උදෙසා කෙරෙන දේශනාවක් හෙයින් නොපැතුවද නිවන් ලබාදෙන දානයකි. ඥාන විප්‍රයුක්තව බණකීම් විරළ හෙයින් බොහෝ විට ත්‍රිහේතුක කුසල්ම උපදින්නේය. ධර්ම දානය ඇසිල්ලකින් කර නිම වන කුසල කර්මයක් නොවේ. ධර්ම දේශනාව පටන් ගත් මොහොතේ සිට අවසාන වනතෙක් අප්‍රමාණ කුශල චිත්ත විථින්ගෙන් ද සද්ධා සති කරුණා මුදිතාදි කුසල චෛතසිකයන්ගෙන් ද සිදු කරන අති බලවත් කුශල කර්මයකි. එළු, කුකුළු, ඌරු, බලු, බළල්, ගව ආදි තිරිසන් සතකුට දුන් ආහාර ආදිය සියයක් ජාතියෙහි ආයුවර්ණ, සැප, බල, ප්‍රඥා වශයෙන් පන්සියයක් විපාක දෙයි. වැදි කෙවුල් ආදී දුශ්ශීල මනුෂ්‍යයකුට දුන් දානය දහසක් ජාතියෙහි පන් දහසක් ආනිශංස දෙයි. බාහිර සිල්වත් දැහැමි මනුෂ්‍යයකුට දුන් දානය ලක්ෂයක් ආත්ම භාවයන්හි පන්ලක්ෂයක් විපාක වෙයි. අෂ්ට සමාපත්ති ලාභී බාහිර තාපසයකුට දුන් දානය කෙළ ලක්ෂයක් ජාතියෙහි උපදවා පස්කෙළ ලක්ෂයක් විපාක දෙයි. ඔවුන් සියයකට දුන් දානයට වඩා මේ සසුනෙහි තිසරණයෙහි පිහිටියකුට දෙන දානය උසස් වෙයි. පන්සිල්හි, අටසිල්හි, දසසිල්හි පිහිටි උපාසකයින්ට දුන් දානය එකිනෙකට ආනිශංසයෙන් වැඩිවෙයි. අසංඛෙය්‍ය අප්‍රමෙය්‍යවූ විපාකම දෙයි. එයට වඩා මේ ශාසනයෙහි පැවිදි බවට ඇතුළත් වූ සාමණේරය, සාමාන්‍ය උපසම්පන්නය, ව්රතසාර උපසම්පන්නය, ආරබ්බ විදර්ශකය, මාර්ග සමන්ගීය, සොතාපන්නය, සකදාගාමීය, අරහත්ය, ප්රත්යෙක බුදධය යන දක්ෂිණාර්හ පුද්ගලයන්ට දුන්දානය පිළිවෙළින් එකිනෙකට සියක් දහසක් ගුණෙන් වැඩිවෙමින් අනන්ත අප්‍රමාණ ආනිශංස දෙයි. පසේ බුදු වරුන් සියක් දහසකට දුන් දානයට වඩා එක ලොව්තුරා බුදු කෙනෙකුට දුන් දානයම අනන්තාපරිමාණ ආනිශංස දෙයි. බුදුන් ප්රමුඛ මහා සංඝයාට දුන් සාංඝික දානය එයටත් වඩා අසීමිත ආනිශංස දෙයි. සතර දිගින් වඩින මහා සංඝයාට ආවාසයක් කර දුන්නේ නම් එහි ආනිශංසය එයටත් වැඩි වෙයි. ඇසිල්ලක් සියලු සතුන් වෙත මෛත්‍රීය වැඩුවේ නම් එයට සත සහශ්‍ර ගුණයෙන් වැඩි ආනිශංස වෙයි. විදර්ශනා වැඩුවේ නම් එයටත් වඩා අප්‍රමෙය්‍ය වූ ආනිශංස දෙයි. යමෙක් ධර්ම දානය දුන්නේ වී නම් හෙ දෙවුයේ වී නම් ඒ ධර්ම දානමය කුශල කර්මය ඉහත කී සියලුම දානයන්ට වඩා මහත් ඵල මහානිශංස වෙයි. ප්‍රමාණකල නොහැකි වූම සැප විපාක ඇති වෙයි. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ශ්‍රද්ධා ප්‍රඥා දියුණු කර ගත බොහෝ සත්වයෝ මසුරු මල හැරපියා තමන් සතු සියලු ධනය පරිත්‍යාග කරති. සමහරු ධනයද, ඇස්, ඉස්, මස්, ලේ, අත්පා ආදී අංග ප්රත්යංගද කරති. තෘෂ්ණාව හැරපියා එතෙක් දෑ දීමෙහි පොළඹවන ධර්මය දීම සියලු දීම් වලට වඩා උසස් වේමය. ධර්ම දානය නිසා මරණය වැලකී රැකුණු ජීවිත මෙතෙකැයි පමණ නැත. සතර අපා දුකින් මිදී සුගතියෙහි ඉපදුණු සත්වයන් මෙතෙකැයි පමණ නැත. එහෙයින් ධර්ම දානය සියලු දානයන්ට ප්රමුඛ වෙයි. ධර්ම දානය නිර්වාණ දානයකි බණ කියන අයගේද අසන අයගේද බණ කියා නිමවන තෙක් කයින් කෙරෙන අකුසල් වලින් තොරව කය සංවරව පවතී. වචනයෙන් කෙරෙන අකුසල් වලින් තොරව වචනය සංවරව පවතී. එසේ කය වචන දෙක සංවර වීමෙන් සීලය සම්පූර්ණ වේ. දේශනා කරන ධර්මයට සිත නැඹුරුව පවතින හෙයින් කාමච්ඡන්ද, ථීන මිද්ධ, ව්‍යාපාද, උද්ධච්ඡ කුක්කුච්ඡ, විචිකිච්ඡා නීවරණ ධර්මයන් යටපත් වීමෙන් සමාධිය සම්පූර්ණ වේ. ධර්මය අවබෝධ වීමේදී ප්‍රඥාව පහළ වේ. මෙසේ සීල, සමාධි, ප්‍රඥා වශයෙන් තුන් වැදෑරුම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය එකවර සම්පූර්ණ වීමෙන් මාර්ග ඵල අවබෝධය වේ. එවිට නිර්වාණය ප්රත්යක්ෂ වේ. එහෙයින් ධර්ම දානය දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් එවලේම විපාක ලබා දිය හැකි දානයකි. බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසීමෙනුත් සිය ගණන් දහස් ගණන් එකවර මාර්ග ඵල අවබෝධ කොට නිවන් දුටු බව ත්‍රිපිටකයෙහි නොයෙක් තැන සදහන්ව ඇත. යම් කිසි විදියකින් මෙලොව එබඳු විපාකයක් ලබා ගැනීමට නොහැකි වූයේද මේ මහා භද්‍රකල්පයට එක් තිස් කල්පයකින් මත්තෙහි ලෝ පහල වූ සිඛී නම් බුදුරජාණන් වහන්සේගෙන් මොහොතක් බණ ඇසූ මිගලුද්දක නම් වැදි පුත්‍රයා සතර අපා දුකින් මුදා කල්ප තිස් එකක් මුළුල්ලෙහි සදිව්‍ය ලෝකයෙහිත් මනුෂ්‍ය ලෝකයෙහිත් අප්‍රමාණ වූ සම්පත්තියට පමුණුවා කෙළවර ලෝකෝත්තර සැපත වූ නිර්වාණයටත් පමුණුවා ලුවාක්මෙන් අප්‍රමාණ වූ සුගති සංඛ්‍යාත ලෞකික සම්පත්තියටත් කෙළවර නිර්වාණ සංඛ්‍යාත ලෝකෝත්තර සම්පත්තියටත් පමුණුවා ලීමෙහි ධර්ම දානය සමත් වෙයි. පෙර බුදුවරයන් වහන්සේලාගේ ධර්ම දානය හේතු කොට ගෙන පසු බුදුවරයන් වහන්සේලාද පසේ බුදුවරයන් වහන්සේලාද රහතන් වහන්සේලා ද ලෝකයෙහි පහළ වූහ. ඒ කාරණයෙනුත් ධර්ම දානය ශ්‍රේෂ්ඨ වේ. සත්වයකුට ලැබිය හැකි උසස්ම තැන වූ සම්මා සම්බුද්ධ බෝධිය පවා අත් කරදෙනුයේ ධර්ම දානය විසිනි. ඒ හේතුවෙනුත් ධර්ම දානය අග්‍රය. නව කපපං සුත ධමමං අට්ඨ කපපං ච යාචිතො එක කපපං අනුමොදනතුං දෙසිතො ච අසංඛයො ධර්මය ඇසීමෙන් නව කල්පයක් ද ධර්මය දේශනාවට ආරාධනා කිරීමෙන් අට කල්පයක් ද එහි පින් අනුමෝදන් වීමෙන් එක් කල්පයක් ද ධර්ම දේශනා කිරීමෙන් කල්ප අසංඛ්‍යයක් ද සුගතියෙහි සැප ලැබෙන බව එයින් කියවේ. අටුවාවෙහි එසේ කීවද ධර්ම දානයෙහි ආනිසංස සීමාකර කිව නොහැකි වන්නේමය. සදධමම දේශනා කාලෙ සාධු සාධුති හාසනො මුඛතො වායතෙ ගනෙධා උපපලංව යථොදකෙ ධර්ම දේශනා කරන කාලයෙහි ධර්මාලම්බන ප්‍රීතියෙන් සාධු ! සාධු !! යැයි කීමෙන් උප නූපන් ජාතියෙහි කටින් මහනෙල් මල් සුවඳ හමන්නේය යනු එහි අදහසය. ධර්ම ශ්‍රවණය කරන්නාට එසේ නම් ධර්මය දේශනා කරන්නාට කෙබඳු විපාක ලැබිය යුතු දැයි සලකා ගත යුතුය. ධර්ම දානයෙහි ආනිශංස පක්ෂය මෙතෙකැයි සීමා කර ප්‍රමාණකර නොකිව හැකි බවම ත්‍රිපිටකයෙහි සඳහන්ය. අනුශාසනා ප්රාතිහාර්යය සෘද්ධිප්රාතිහාර්යය, ආදේශන ප්රාතිහාර්යය (අනුන්ගෙ සිත් දැන කීම) අනුශාසනා ප්රාතිහාර්යය යනුවෙන් ප්රාතිහාර්ය තුන්වර්ගයක් බුද්ධ දේශනාවෙහි දැක්වේ. එයින් අනුශාසනා ප්‍රාතිහාර්යයම ශ්‍රේෂ්ඨ යයි ද උතුම් කුසල යයි ද බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. ධර්ම දේශකයා උපනූපන් තැන සියලු යස ඉසුරු පිරිවර සම්පත්තියෙන් ආඪ්‍ය වන්නාක් මෙන්ම ඒවා සැපසේ අනුභව කරන මහා ප්‍රඥාවන්තයෙක් ද වන්නේය. ලෞකික ලෝකෝත්තර සියලු සම්පත දෙන්නාට සියලු සම්පත් නිතැතින්ම ලැබේමය. එහෙයින් එබඳු උතුම් ධර්ම දානය දෙන්නට වටී. බාහිර වස්තුව දීම ගැන කවර කථාද ? අසංඛ්‍ය ගණන් ජීවිත සැපවත් කරවා සදාකාලික සැපත වූ නිර්වාණයටත් පමුණුවන ඒ ධර්මය උදෙසා එක ජීවිතයක් දීම ඉතා සුළු දෙයක් දීමකැයි දත යුතුයි. පිරිස් වලට ධර්ම දේශනා කිරීම කාටත් කළ නොහැකි බව සැබෑය. එහෙත් ධර්ම දානය කාටත් සිදු කළ හැකි වෙනත් විධි බොහෝ තිබේ. ▬▬▬▬▬▬▬▬▬ 3. ධර්ම දානය කළ හැකි විධි ▬▬▬▬▬▬▬▬▬ රුවන්වැලිසෑය ආදී බොහෝ වෙහෙර විහාර කරවූ ද ආර්ය සංඝරත්නයට නොකඩවා දන් දුන්නාවු ද දුටු ගැමුණු රජතුමා ධර්ම දානයෙහි ආනිශංස ඒ සියලු පින්කම් වලට වැඩි යයි අසා මමත් ධර්ම දානයක් කරමියි මංගල සූත්‍රයෙන් ධර්ම දේශනා කිරීමට ලෝවාමහාපායේ ධර්මාසනයට නැගී හිඳ ගත්තේය. එහෙත් කිසිවක් කියා ගත නොහැකිව ධර්ම දේශනය නම් ඉතා දුෂ්කර දෙයකැයි කියා ධර්මාසනයෙන් බැස්සේය. එවිට භික්ෂූන් වහන්සේලා විසින් ධර්ම දානය කළ හැකි වෙනත් විධි රජ්ජුරුවන්ට කියා දෙන ලදී. ඒ අනුව රජ්ජුරුවෝ ගමක් පාසා ධර්ම දේශකයන් වහන්සේ නමක් බැගින් නවත්වා සිවුපස පහසුකම් සියල්ලක් මැනවින් සලසා බණ පොතක්ද, පොත් වස්නක්ද, දණ්ඩාසනයක්ද අනෙකුත් අවශ්‍ය සියලු දෑ ද ඒ ඒ තැන තැබවූහ. බුද්ධදාස රජ්ජුරුවන්ගේ කාලයේදී ගම් දහසකට එක් ධර්ම දේශකයකු හා වෙනත් අවශ්‍ය දේ ද යොදවා ධර්ම දානය කරන ලදී. ඪම වැනි දෙටුතිස් රජුගේ දේවිය ශාසනයෙහි පැවිදි වී ලංකාවේ හැම පළාතකටම ගොස් අභිධර්මය දේශනා කර තිබේ. මහා සාසන පරිහානියකින් පසුව රජවූ iii වෙනි විජයබාහු රජතුමා දඹදිවින් ත්‍රිපිටක පොත් ගෙන්වා සංඝරක්ඛිත හාමුදුරුවන්ට බාරදී තමන්ගේ පුතුන් දෙදෙනාගෙන් එක්කෙනෙකු වූ බුවනෙකබාහු කුමාරයාට උන් වහන්සේ ලවා ධර්මය උගන්වා නැවතත් ශාසනය නගා සිටුවීය. iv වැනි මිහිඳු රජුගේ කාලයේදී එක් එක් පිටකය උගත් භික්ෂූන්ට ද ඉගෙන ගන්නා භික්ෂූන්ට ද වෙන වෙනම පසයෙන් සංග්‍රහ කිරීමට නියම කර තිබුණු බව මිහින්ත ශිලා ලිපියේ සඳහන් වේ. එසේම අනුරාධපුර මහා පාලි දාන ශාලාවේ ඉගෙන ගන්නා භික්ෂූන්ට විශේෂයෙන් දන් දී තිබේ. අනුරාධ දේවගිරි විහාරය, දිඹුලාගල, තෝනිගල හා තිස්ස අසල භික්ෂු ප්‍රතිපත්ති විස්තර වන ආය¸ වංශ ධර්ම දේශනා නම් ධර්ම දානයක් සමසකට වරක් වර්ෂයකට වරක් බැගින් පවත්වා තිබේ. ඒ සඳහා ආර්ය වැටුප යයි ධාන්‍ය, බෙහෙත් තෙල්, වැල්මී, මීපැණි, ගිතෙල්, හා තවත් බෙහෙත් වර්ග තෙල් පහන් ආදී වෙනත් අවශ්‍ය දේ ද දී තිබේ. ඒ කාලවල සද්ධර්ම හාණක නමින් ගිහි ධර්ම දේශකද, දේශිකාවෝ ද වූහ. ඔවුහු බ්රහ්මචාරිහූය. මෙසේ පුරා සිංහල බෞද්ධයෝ මහත් භක්තියෙන් මහත් උත්සාහයෙන් මහත් උනන්දුවෙන් කාලයත් ධනයත් ජීවිතයත් යොදා ධර්ම දානය සිදු කළහ. අද එයට වඩා සිය දහස් වාරය පහසුවෙන් ධර්ම දානය සිදු කළ හැකි ව තිබේ. අද ඒ පුද්ගලයකුට ලෝකයටම ඇසෙන්නට වුවත් බණ කියන්න පුළුවන. එසේම ගමන් පහසුද ඇත. පොත් පත් ද ඇත. මුද්‍රණ යන්ත්‍ර ද ඇත. 1. ධර්ම දේශනා කිරීම 2. ධර්ම දේශනා කරවීම හා ධර්ම පූජා පැවැත්වීම 3. දහම් පොත් පත් සඟරා මුද්‍රණය කර බෙදා හැරීම 4. ධර්මය ඉගැන්වීම 5. පිරිස් වලට බණපොත් කියවීම 6. අන්‍යයන් ශීලයෙහි ගුණයෙහි පිහිටුවීම 7. දරුවන්ට ධර්මය උගන්වා ධර්ම දේශකයන් කරවීම 8. ධර්ම දේශක භික්ෂූන්ට දහම් පොත් පත්, තෙල් පහන්, බෙහෙත්, වාහන, මුද්දර, ගමන්පහසු, විජිනි පත් හා සිවුපසය ආදිය සැපයීම 9. ධර්මය ඉගෙන ගන්නා භික්ෂූන්ට දහම් පොත් පත් තීන්ත පෑන් කඩදාසි තෙල් පහන් හා සිව්පස දීම 10. ඉරුදින දහම් පාසල් පිහිටුවීම, පවත්වාගෙන යාම, ධර්මය ඉගෙන ගන්නා ළමයින්ට තෑගි බෝග දී උනන්දු කරවීම, ඇඳුම් පැළඳුම් පොත් පත් දීම 11. ධර්ම දේශකයන් වහන්සේලාට අවශ්‍ය වියදම් දීම, 12. ධර්ම ශාලා කරවීම, සැරසීම, ඒවාට පහන් පැදුරු ආදිය සැපයීම 13. ධර්මාසන කරවීම හා ඒවාට ඇතිරිලි, උඩු වියන් බුමුතුරුණු, පාවාඩ පූජා කිරීම 14. ධර්ම දේශකයන් වහන්සේලාගේ පා සේදීම, පය පිස දැමීම, වියන් ඇල්ලීම, පාවාඩ දැමීම 15. පිරිස් වන්දනා, පූජා, ධර්ම සජ්ක්ධායනාදි විවිධ පින්කම් වල යෙදවීම මේ ආදී ධර්ම දානයට උපකාරී වන ලොකු කුඩා සියලු කටයුතු කිරීම ධර්ම දානමය කුසල් ලැබීමට හේතුවන බව සැලකිය යුතුයි. ධර්ම දේශනා කිරීමට භික්ෂූන් වහන්සේ නමක් වඩින විට තමන්ගේ අත්ලේන්සුව හෝ තුවාය හෝ පාවාඩයක් හැටියට එලා සමහර ශ්රද්ධාවන්ත උපාසක උපාසිකාවෝ ධර්ම දානමය කුසල් සිදු කර ගනිති. ධර්ම දේශකයන් වහන්සේ දැක නැගිටීම ද වැඳීම ද සාදුකාර දීම ද කුසල් බව සිතට ගත යුතුය. සද්ධර්මාලංකාරයෙහි මෛත්‍රී බුදුන් දකින්නන් දැක්වෙන තැන මෙසේ සඳහන්වේ. ‘බණ කියන ගෙයි පහන් දැල්වූවෝ දකිනි’. ‘බණ කියන්නන් ආචාර උපචාරයෙන් වඩා ගෙනවුත් සකස් කොට බණ පැවැත්වූවෝ දකිති. විජිනිපත් දුන්නෝ ද දකිති. බණ පොත ලියවූවෝ දකිති. තමන් ලියවූ පොත අකුරු ගණනින් චක්‍රවර්තී සම්පත් ආදි වූ සැපත් ලදින් සුවපත් වූවෝ මෙතේ්බුදුන් දකින්නාහුමය. තවද ආමිස ධර්ම දානාදියෙන් සංඝයා වහන්සේට සත්කාර කළාහු දකිත්මය. ධර්ම දානය මහත් ඵල වීමට ධර්ම දේශනා කිරීම දහම් පොතපත මුද්‍රණය කරවීම ආදියේදී තමන්ගේ උගත්කම්, දක්ෂකම්, සපන්කම් පෙන්වන මානයෙන් දුරුව, නම හෝ් ඡායාරූප පල කරගැනීමේ ආශාවෙන් තොරව කළ යුතුය. බණ පොත් මුද්‍රණය කරවීමේදී ධර්ම ගෞරවය රැකෙන සේ බාල කරදාසි වල මුද්‍රණය නොකර මැදපු කඩදාසි වල මුද්‍රණය කරවීම ද අකුරු වචන නොවරදින සේ ශෝධ්‍ය පත්‍ර බැලීම ද බාහිර ශාස්ත්‍රීය ලිපි හා වෙළෙඳ දැන්වීම් ඇතුළත් නොකිරීම ද ඉතා වැදගත් බව සැලකිය යුත්තකි. කෙසේ වත් ධර්මය නොකෙළසීම ධර්මය අගෞරව නොකිරීම බෞද්ධ ගුණයකි. ධර්මය රැක ගැනීමකි. ධර්ම දානය කරන්නවුන් විසින් ධර්මදානයෙහි අප්‍රමාණ ආනිශංස හා විපාක ඇත්තේ යයි නුවණින් සලකා ප්රත්යාදී ලාබ ප්‍රයෝජන හා නම්බු, කීර්ති, ප්‍රශංසා ගරු බුහුමන් ලැබීමේ ලෝභයෙන් තුරන්ව නිශ්ශරණාධ්‍යාශයෙන් යුතුව කළ යුතුය. එසේම බණ අසන්නවුන්ට නින්දා කරන, ගර්හා කරන, හෙලා දකින, පහර ගසන චේතනාවෙන් තොරව ඔවුන් සසර දුකින් මුදා ගැනීමේ හා ලොව් ලොව්තුරු සැපතට පැමිණවීමේ අභිලාශයෙන් යුතුව කරුණා මෛත්‍රී සහගත සිතින් ශිලාදී ධර්මයෙහි පිහිටා ධර්ම දානය සිදු කළ යුතුය. එසේ නොකළහොත් ධර්ම දානමය කුසලය උත්කෘෂ්ඨ නොවේ. ධර්ම දානය සිදු කිරීමට පළමුවත් එය කරන අවස්ථාවේත් ඉන් පසුවත් යන තුන් අවස්ථාවෙහිම ලෝභ – ද්වේශ – මෝහාදී කෙලෙස් වලින් පසු නොබා කළ යුතුය. සමහර විට ‘අනේ් මේ පොත මුද්‍රණය කරවීමට බොහොම මුදල් වියදම් වේවි’ යයි කියා හෝ මේ ධර්ම දේශනයට මට වටිනා පිරිකරක් ලැබේවි යයි කියා හෝ ලෝභය ඇති විය හැකිය. මේ නරක මිනිසුන්ට මොන බණදැයි ද්වේෂය ඇතිවිය හැකිය. මේ වැඩෙන් මගේ මහන්සියේ හැටියට වියදමේ හැටියට ප්‍රතිඵලයක් ආනිශංසයක් ලැබේදැයි මෝහය ඇතිවිය හැකිය. එසේ පසු බට වීම් සහිත දූෂිත වූ සිතින් ධර්ම දානය කළොත් ඒ කුසලය හීන, ලාමක, දුර්වල දුක් සැප දෙකින් මිශ්‍ර විපාක ඇති කුසලයක් වෙයි. සමහර විටක කුසලය විපාක දීමට අසමර්ථ වීමට හෝ බලවත් අකුසල විපාකයකින් එහි විපාකය නැසී යාමට හෝ ඉඩ ඇතිවේ. ධර්ම දානයට හතුරුකම් කිරීම නොමිලයේ දෙන බණ පොත පත ඥානයත්, කාලයත්, මහන්සියත්, ධනයත්, ධර්මය වෙනුවෙන් පරිත්‍යාග කරන, ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් තොරවූ සත් පුරුෂ සාධු ජනතාවගෙන්ම බිහිවන හෙයින් විශේෂ ගෞරවයෙන් ආරක්ෂා කළ යුතුය. කියවා ප්‍රයෝජන ගත යුතුය. ශ්‍රද්ධාවෙන් නොමිලයේ දෙන දහම් පතපොත ලබාගෙන හෝ පිළිගෙන එය නොකියවා, ඉන් ප්‍රයෝජන නොගෙන එය කියවීමට කැමති කෙනකුට නොදී ආරක්ෂා ද නොකොට නාස්ති වී යාමට ඉඩදීම ඒ ධර්ම දානයට කරන හානියක් වන හෙයින් ඉන් බරපතල අකුසල කර්මයක් සිදුවේ. ළමයින් නැළවීමට හෝ ළමයින් සතුටු කිරීමට ඒ පොත් දීමෙන් ඒ ළමයින් ද අපායගාමී අකුසල් කර ගනිති. තවද ධර්ම දානය ලෞකික ලෝකෝත්තර සියලු සැපතට ඉවහල් වන මහා ආනිශංස දායක කුසල කර්මයක් වන හෙයින් තමන්ගේ බලය පෑමෙන් එය වළක්වාලන අයද නරක හැසිරීම් කෑකෝ ගැසීම් ආදියෙන් එයට බාධා කරදර පමුණුවන අයද ධර්ම දානය හෙළාදකින, පහත් කොට, නිශ්ඵල කොට සිතන කියන අය ද ඒ ලෞකික ලෝකෝත්තර සියලු සැපතින් පිරිහී සතර අපායාදී දුගතියට වැටෙන බව සැලකිය යුතුයි. “ධම්ම දෙස්සී පරාභවො” ධර්මයට ද්වේෂ කරන්නා පිරිහෙයි. සද්ධම්මා පරම දුල්ලභො සද්ධර්මය නම් අතිශයින්ම දුර්ලභයයි බුදු ඇසින් ද බුදු මුවින් දේශනා කොට වදාළ සේක. මහා කාරුණික ඒ බුදුරජාණන් වහන්සේ දන් වළඳා ගඳ කිළියට වැඩමවා පා සෝදා එහි පඩිය මත සිට එතැනට පැමිණෙන භික්ෂූන් දිනපතා මෙසේ අනුශාසනා කළ සේක. අප්පමාදෙන භික්ඛවෙ, සම්පාදෙථ දුල්ලභො බුද්ධුප්පාදෝ ලොකස්මිං දුල්ලභො මනුස්සත්ත පටිලාභො දුල්ලභා පබ්බජ්ජා, දුල්ලභා සද්ධා සම්පත්ති, දුල්ලභං සද්ධම්ම සවණං ”මහණෙනි” අප්‍රමාදව ධ්‍යාන මාර්ග ඵල වඩව්, ලෝකයෙහි බුද්ධෝත්පාදය දුර්ලභය. මිනිසත් බව දුර්ලභය. ශ්‍රද්ධා සම්පත්තිය ද දුර්ලභය. ප්‍රව්‍රජ්‍යාව (පැවිද්ද) දුර්ලභය. ධර්ම ශ්‍රවණය දුර්ලභය යනු එහි අදහසය. මේ අනුශාසනාවේ ඇති වැදගත්කම නිසා දිනපතා දේශනා කළ සේක. ඒ පරම සත්‍ය වූ මිහිරි වූ බුද්ධානුශාසනාව පිළිගනිතොත් සාධු ජනයෙනි, කුමක් හෙයින් තණ අග පිණි බිඳක් සා අනිස්ථිර ජීවිතයක් ලැබ ගම් – බිම්, ;ගවල් දොරවල්, මිල – මුදල්, යාන – වාහන, අඹු – දරු, ගව මහීෂ හා දාසි – දාසාදී කාම වස්තූන් කෙරෙහි ඇලී බැඳී කා කොටා වැටෙමින් නඩු හබ කියා ගනිමින් ඊර්ෂ්‍යා ක්‍රෝධ – මද – මානාදී කෙලෙස් වඩමින් කල් යවන්නහුද? කුසල් කරන්නේ කවදා ද? බොහෝ දෙනෙක් කුසල් කිරීමට ජීවිතයේ අන්තිම මොහොත එනතුරු බලා සිටිති. ජීවිතය කොයි මොහොතේ කොතැනකදී කෙසේ නම් අවසන් වේ දැයි කාට කිව හැකිද? යම් කිසි විදියකින් අවසාන මොහොතේ කුසලයක් කර ගන්නට නොලැබුණොත් ඇතිවනුයේ බලවත් පසුතැවිල්ලකි. පසුතැවිල්ල අකුසල් සිතකි. එයින් මැරී සුගතියක ඉපදීමට අපහසු වෙයි. කුසල් නම් අද අදම කර ගත යුතු වෙයි. අබල දුබල නොවූ කල්හිම කර ගත යුතු වෙයි. කය වචන සිත යොදා තමන්ම කර ගත යුතු වෙයි. තමා ජීවත්ව සිටියදීම කර ගත යුතු වෙයි. බලවත් කුසල් වනුයේ එසේ කර ගන්නා කුසල්මය. සමහරෙක් මරණින් පසු දූ දරුවන් පින් කර තමාටත් දේවියයි බලාපොරොත්තු වෙති. මළ පසු කරන පින් කළවුන්ටය. “පරදත්තුප ජීවී” “වෙමානික” යන ප්‍රේත නිකායක උපනුන්ටත් “විනිපාතික” අසුර නිකායෙහි උපනූන්ටත් දෙවියන් හමුවෙහි උපන්නවුන්ටත් ඒ පින් අනුමෝදන් විය හැකිය. සෙසු ප්‍රේත නිකායක හෝ තිරිසන් යෝනියක හෝ නිරයෙහි නිරිසත්ව යෝනියක හෝ මිනිස් ලොව උපන්නවුන්ට ඒ පින් නොලැබේ. හරියටම ඒ පින් ලැබිය හැකි තැනකම උපදීවි දැයි කවුරු දනිත්ද? එසේ උපන්නේවි නමුදු දරුවෝ පින් දෙතැයි කෙසේ විශ්වාස තබමුද? දූ දරුවන් දුසිලුන් කෙරෙහි කරන ලද දානාදී කුසල කර්මයක් දුන්නේ වී නමුදු එහි ශක්තිය ඉතා දුර්වල හෙයිනුත් පරදත්තුප ජීවියා උත්පත්තිය ලැබූ අකුසල කර්ම ශක්තිය එයට වඩා බලවත් හෙයිනුත් දුන් පිනෙන් වැඩක් නොවේ. එහෙයින් මිය ගිය වුන්ට දෙන පින් බලවත් ඒවා විය යුතුය. මියගිය තැනැත්තා දුගතියෙහි උත්පත්තිය ලැබූ අකුසල කර්ම ශක්තියත් ඔහුට ප්රවෘත්ති විපාක ලැබෙන අකුසල කර්ම ශක්තියත් මැඬලීමට සමත් අති බලවත් කුසලයක්ම දිය යුතුය. දුර්ගතියෙහි අහේතුක ප්‍රතිසන්ධියක් ලැබුවහුට ඒ භවය තුළ අහේතුක භවංග සිත්ම පහළ වේ. ඒ හේතුවෙන් ඔහුට ත්‍රිහේතුක කුසල් සිත් පහළ කර ගැන්ම පහසු කරුණක් නොවේ. සුගතියෙහි ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලැබුවහුට නිරන්තරයෙන් ත්‍රිහේතුක භවංග සිත්ම පහළ වේ. ඔහුට ත්‍රිහේතුක කුසල් සිත් පහළ කර ගැන්ම පහසුය. එහෙයින් මිනිස් ලොව ජීවත්ව සිටියදී සිහි නුවණ ඇති කල්හිම කුසල් කර ගත යුතුය. ජීවත්ව සිටියදී ඉන්ද්‍රියන් බලවත් කල්හි කරන කුසල කර්ම ද බලවත් විය හැකිය. ඒවා නිධානයක් මෙන් නැති නොවී තමා සන්තකවම පවතී. අපායෙහි උපන්නවුන්ට ද පෙර කළ බලවත් කුසල කර්ම වේ නම් දින ගණනකින් වුව නැවත සුගතියට යාමට ඉඩ තිබේ.” “පින්වත් නිසල් මෙන්ඩිස් පින්වත් මහත්තයා ඇතුළු පින්වත් සෑම දෙනාටම දහම් ගඟ විවර මේ උතුම් වප් තුම්ම මාසේ මේ උතුම් බුද්ධ සාශනය පවතින කලේක මේ උතුම් ශ්‍රී සද්ධර්ම ගලන දහම් ගඟෙන් උපරිම ප්‍රයෝජනයක් ලබාගෙන ලැබුණු මනුසත් බව අවසන් වීමට පෙර උතුම් චතුරාරීය සත්‍ය ධර්මය ම අවබෝධ කරගන්න වාසනාව සත්‍ය ලැබේවා! :-පූජ්‍ය ආරණිඃය වාසී පූජ්‍ය ඌවපරණ ගම ඤාණින්ද හිමි ☸️තෙරුවන් සරණයි…! “දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං!”.











